CharityShop Sales Team Training Program

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

Oct 25, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

පැන්සලකට මකනයක් සවිකිරීම එක් දහස් අටසිය පනස් ගණන්වල නව සොයාගැනීමක්…..දැන් ඉතින් සමහරු හිනා වෙයි.පැන්සලකට මකනයක් සවි කිරීම මහ ලොකු දෙයක් ද කියලා ….. හැබැයි ඒක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා වගේම, ජීවිතයට ගන්න ලොකු පාඩමක් තියෙනවා…

1817 දී ජැමෙයිකාවේ උපත ලබන හයිමන් ලිප්මන්  තමයි මේ විප්ලවීය සොයා ගැනීම කරන්නේ. ඒ 1858 මාර්තු 30 වැනිදා. ඔහු තමයි මකනයක් සවි කරන ලද පැන්සලකට ලෝකයේ පේටන්ට් බලපත්‍රය ලබා ගත් තැනැත්තා. ඒක ඒ කාලේ හැටියට බොහෝම ලොකු, නව සොයාගැනීමක්. අවුරුදු හතරකට පස්සේ, ඒ කියන්නේ 1862 දී, ලිප්මන් මේ පේටන්ට් බලපත්‍රය ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකට ($ 100,000) ජෝසප් රෙක්කෙන්ඩෝෆර්ට  විකුණනවා. තම විප්ලවීය බුද්ධිමය අදහස ලිවීම අනාගතයට මෙතරම් බලපෑමක් කරන බව ලිප්මන් දැනගෙන හිටියා නම් ඔහු කවදාකවත් මේ පේටන්ට් බලපත්‍රය ජෝසප්ට විකුණන එකක් නෑ…

මකා දැමීම කියන්නේ වැරැද්දක් ඉවත් කිරීමට පහසු ක්‍රමයක්. බැරිවෙලාකවත් මේ විප්ලවීය අදහස එදා ලිප්මන්ට ආවේ නැත්නම්, කුඩා වැරැද්දක් නිවැරදි කරන්න සම්පූර්ණ ලේඛනයම වෙනස් කරන්න හෝ විනාශ කරන්න වෙන්න පුළුවන්කම තිබුණා. කුඩා දෝෂයක් නිසා ලියමන සම්පූර්ණයෙන්ම ආරම්භ කිරීම වෙනුවට ඔබට ඔබේ මකනය භාවිතා කර බොහෝම පහසුවෙන් වැරැද්ද නිවැරදි කරගන්න පුළුවන්…

“සෑම පුද්ගලයෙකු අතින්ම වැරදි සිදුවේ. සෑම පැන්සලකම අග මකනයක් පිහිටා තිබීමෙන් අදහස් වන්නේ එම වැරදි නිවැරදි කළ හැකි බවයි.”

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවත් වීමේදී පුද්ගලයන් අතින් අත් වැරදීම් සිදුවේ. මීට අමතරව දුර දිග නොබලා කටයුතු කිරීමෙනුත් තවත් සමහරුන් අතින් වැරදි සිදු වේ. මෙවැනි අත්වැරදීම් හෝ වැරදි සිදු වූ විට ජීවිතය නිවැරදි කරගත නොහැකි යැයි සිතන අයට හොඳ පාඩමක් මෙයින් ජීවිතයට කියා දෙයි. ඒ එම වැරදි නිවැරදි කර, එතැනින් අලුත් ආරම්භයක් ගෙන ජීවිතය අළුත් ඉසව්වක් කරා ගෙන යා හැකි බවයි. එනම් ජීවිතයට දෙවැනි අවස්ථාවක් ඇති බවයි. පළමු අවස්ථාව වරද්දා ගත් පසු මකනය, එම වැරැද්ද  සම්පූර්ණයෙන්ම ඉවත් කර අපට දෙවන අවස්ථාව සඳහා ඉඩ ලබා දෙයි. එම නිසා දෙවන අවස්ථාව වගකීමෙන් භාවිතා කිරීමට අප වග බලා ගත යුතුය.

මේ කතාව කියාගෙන යද්දී මට පැන්සලයි මකනයයි අතර ඇතිවුණා කියලා කියන සංවාදයක් මතක් වුණා. ඒක පැන්සලයි මකනයයි විතරක්ම නෙමෙයි, ජීවිතයටත් පාඩමක් නිසා ඒක මෙතනින් ලියන්නම්…

එක්වරෙක පැන්සලක් හා මකනයක් එකිනෙකාගේ රැකියාව ගැන කතා කර කර හිටියා. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ වෙහෙස මහන්සි වීම ගැන එකිනෙකාට ප්‍රශංසා කළා. ඔවුන් එකිනෙකාට එකිනෙකා නොමැතිව කාටවත් කිසි දෙයක් කළ නොහැකි බව ඔවුන් දැන සිටියා.

වැඩි කල් නොගොස් පැන්සල සරල රේඛාවක් අදින්න පටන් ගත්තා. මකනය පැන්සල දෙස බලා සිටියා. හදිසියේම පැන්සලෙහි සමබරතාවය ගිලිහී ගොස් පැන්සල විසින් නිර්මාණය කරපු සරල රේඛාව ඇද වුණා. දැන් පැන්සල ඉතා කනගාටුවට පත් වුණේ ඔහුගේ වැරැද්ද නිසා මකනයට දුක් විඳීමට සිදුවන බව දැනසිටි නිසාවෙන්…

පැන්සල හිමින් සැරේ තමන්ගේ කට හඬ අවදි කරලා කතා කරන්න පටන් ගත්තා.

“මට කණගාටුයි ! මා නිසා ඔබට රිදෙනවා. මම වැරැද්දක් කළ සෑම විටම එය මකා දැමීමට ඔබ ඉදිරිපත් වෙනවා. නමුත් මගේ වැරැද්ද මම නිවැරදි කරගන්න විට ඔබෙන් කොටසක් ඔබට අහිමි වෙනවා. පැන්සල බොහොම දුකින් පැවසුවා.

මෙය ඇසු මකනය සෙමෙන් තම කටහඬ අවදිකරමින් කතා කලා.

“ඒක ඇත්ත… ඒත් ඔයාලට පේනවද, කොයි මොහොතකදිවත් මම දුකෙන් කනගාටුවෙන් ඉන්නවා. මාව හදලා තියෙන්නේ ඔයාලගේ මොකක් හරි වැරැද්දක් වුණු හැම වෙලාවකම ඔයාලට උදව් කරන්න. මම දන්නවා, කවදහරි දවසක මම නැති වෙලා යනවා කියලා. මම ඇත්තටම මගේ රැකියාව ගැන සතුටුයි. ඒනිසා කරුණාකරලා කරදර වීම නවත්වන්න. දුක් වෙන්න එපා. ඔබට උදව් කරන්න ලැබුණ එක ගැන මම ඉන්නේ සතුටින්…”

මේ කතාවෙන් අපිට ජීවිතය ගැන ඉගෙන ගන්න පුළුවන් පාඩම මොකක්ද?

අපේ දෙමව්පියන් හරියටම මකනයක් වගේ… නමුත් අපි හැසිරෙන්නේ පැන්සලක් වගේ… දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් සෑම විටම ඔවුන්ගේ වැරදි නිවැරැදි කිරීමට නොපැකිලිව ඉදිරිපත් වෙනවා. ඔවුන්ගේ වැරදි නිවැරැදි කරන්න කරන කැපවීම අතිමහත්. කාලය ගතවෙද්දී, දරුවන් වයසින් මුහුකුරා යද්දී,  දෙමව්පියන් ටිකෙන් ටික වයස්ගත වෙනවා. දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් කරන දේ ගැන සෑමවිටම සතුටුවන අතර ඔවුන් කිසිවිටෙකත් තම දරුවන් දුකෙන් සිටිනවා දකින්න කැමති වෙන්නේ නෑ. එම නිසා ඔබට සෑම විටෙකම යහපත පෙන්වා දෙමින්, ඔබව නිවැරැදි කරන දෙමාපියන් වෙනුවෙන් ඔබේ කාලය වෙන්කරන්න. කරුණාවෙන් ඔවුන්ට උදව් කරන්න.

ඔවුන්ට හදවතින්ම ආදරය කරන්න.

ඊළඟට ජීවිතයේ වැරදි නිවැරදි කරගන්න අපිට ලැබෙන අවස්ථා ගැනත් කතා කරමු…

“පැන්සලක් අග මකනයක් රැඳවීමෙන් සංකේතවත් වන්නේ ඔබට ජීවිතය ජය ගැනීමට දෙවන අවස්ථාවක් ද ඇති බවයි. නමුත් එයට එරෙහිව ඇති ප්‍රධානතම තර්කය නම්, පැන්සල මත ඇති මකනය කුඩාවට නිර්මාණය කිරීමෙන් පෙන්වා දෙන පණිවිඩය වන්නේ එම දෙවන අවස්ථාවන් බොහෝ සීමිත බවයි.”

මේ සියළු කතාවන්ගෙන් අපට ගත හැකි පණිවිඩ රාශියක් ඇතත්, තවත් එක් වැදගත් කාරණාවක් නම් ඔබට අනෙකාට උදව් කළ හැකි ආකාරයයි…

“ඔබට යමෙකුගේ සතුට සටහන් කළ හැකි පැන්සලක් විය නොහැකි නම්, යමෙකුගේ දුක අතුගා දැමිය හැකි මකනයක් වන්නට උත්සාහ ගන්න.”

අප හැම විටම උත්සාහ ගත යුතු වන්නේ තවත් අයෙකුගේ ජීවිතයට සතුටක් මෙන්ම සිනහවක් එක් කිරීමටයි. එවිට අප ඔවුනගේ සතුටුදායක පණිවිඩයක කොටස්කරුවෙක් වනු ඇත. නමුත් ඔවුනට සතුට දණවන පණිවුඩයක් රැගෙන යන්නකු වීමට ඔබට සෑම විටම අවස්ථාවක් නොලැබුණු ඇත. එවිට ඔවුනට යම් කිසි දුකක් දැනෙනු නොඅනුමානයි. එවිට ඔබ ඔවුනගේ දුකට සවන් දෙන හෝ ඔවුන්ගේ ජීවිතයෙන් දුක අතුගා දමන චරිතයක් ලෙස ඔවුන්ට සහාය වීමට හැකිනම් පෙරටත් වඩා ඔවුනගේ මතකයේ රැඳෙන පුද්ගලයකු වීමට ඔබට හැකි වනු ඇත.

ඉහත කරුණු සියල්ලගෙන්ම පෙනී යන ප්‍රධාන කරුණක් නම්, ජීවිතයේ අප සෑම සියළු දෙනා විසින්ම සිදුකරන සියළු උත්සාහයන් එක්වරම සාර්ථක විය නොහැකි වනවාක් මෙන්ම, එවැනි අවස්ථාවලදී අපි මානසික වශයෙන් කඩා නොවැටී සිටීමට හැකිවන පරිදි අපගේ මනස ශක්තිමත් කර ගත යුතු බවයි. එසේම එවැනි අත්වැරදීමක් හෝ වැරදීමක් යනු ජීවිතය අතහැර දැමිය යුතු අතිශය විනාශකාරී සිද්ධියක් නොව, අපේක්ෂා සහගත මනසකින් එම සිද්ධිය දරාගෙන එයින් ජීවිතයට උගත හැකි පාඩම ඉගෙන ගනිමින් සාර්ථක ජීවිතයට මඟ එළි පෙහෙළි කර ගැනීමට අප සැබැවින්ම වගබලා ගත යුතු බවයි. එසේ වන්නේ නම් අප එකම වැරැද්ද නැවත නැවතත් සිදු කරමින් ජීවිතයේ අනර්ථය කරා ළඟා නොවනු ඇතිවාක් මෙන්ම වැරැදි නිවැරැදි කර ගනිමින් සාර්ථක, අර්ථවත් ජීවිතයකට මග පාදා ගැනීමට අප සියළු දෙනාටම හැකිවනු ඇත. එනම් සෑම විටම දෙවැනි අවස්ථාවක් ඇති බවත්, වැරදි නිවැරදි කර ගනිමින් දෙවැනි අවස්ථාව පිළිගැනීමට අප සූදානමින් කටයුතු කළ යුතු බවත්ය. එවිට එම දෙවන අවස්ථාව, ජීවිතයට අමතක නොවන මතක සටහනක් කර ගැනීමට හැකි වනවා පමණක් නොව සතුටුදායක ජීවිතයකට ඔබට මඟ පෙන්වනු නොඅනුමානය.

පැන්සලක කෙළවර මකනයක් සවිකිරීමෙන් අර්ථවත් වන්නේ, ජීවිතයේ දී මිනිසා විසින් වැරදි සිදුකරන බවත් ඒවා සරළ රබර් මකනයක් මෙන් නොව ජීවිතේ වන  වැරදි ඉවත් කිරීමට ඊට වඩා සංකීර්ණ විය හැකි බවකි. නමුත් සාර්ථක මෙන්ම අර්ථවත් ජීවිතයක් ගත කිරීමට නම් එම වැරදි නිවැරදි කර ගැනීමට ඔබ මහන්සි විය යුතුය. ඔබගේ එදිනෙදා ජීවිතයේදී දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදීමක් සිදු වුවහොත් ජීවිතයෙන් පළා යාමට උත්සාහ නොගන්න. ඔබ එම වැරදි වලින් ඉගෙන ගන්නා තාක් කල් පසුකාලීනව ඒ හා සමාන වැරදි වලට ජීවිතය හසු වීම වළක්වා ගත හැකිය.

කරුණාවන්තකම, සහයෝගය සහ හදවතේ අනෙකා කෙරෙහි උපදින මානුෂීය හැඟීමෙන් මිනිසුන්ට මෙම වැරදි මකා දැමිය හැකිවේ. වරදක් සිදුවේ යැයි බියෙන් යමක් නොකර සිටීමට වඩා උත්සාහ ගැනීම වඩා වටිනා දෙයක් බව තේරුම් ගැනීමට ඔබට මෙයින් හැකිවනවා ඇත. වරදක් සිදු වූ විටදී එය නිවැරදි කර ගනිමින් දෙවන අවස්ථාව හොඳම අවස්ථාව කර ගැනීමට එවිට ඔබට හැකිවනු ඇත.

CharityShop යනු මකනයක් වැනිය. නිතරම ඔබේ වැරදි හරිගස්සයි. නමුත් ඔබ අවධානයෙන් ලිවීම කලානම් එකම වැරැද්ද කිහිපවරක් නොකලානම් මකනය අවසන් වන්නේ නැත. ඔබ සිතාමතාම කරන වැරදි නිසා දිනෙන් දින මකනය එහි අවසානයට ලඟාවේවි. ඒ වගේම CharityShop ද එහි අවසානයට ලඟාවේවි. එම නිසා උත්සාහ කරන්න ඔබේ වැරදි අවම කරගන්න… එවිට සහයෝගයෙන් අපට ඔබේ ජීවිත කතාව ලියා අවසන් කල හැක.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

පෙර දිනයේ පෝස්ට් කියවන්න #2021ඔක්තෝම්බර්24 ටච් කරන්න.

#2021ඔක්තෝම්බර්25 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

CharityShop Team

සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය මුල් කතෲන් සතුය.