CharityShop Sales Team Training Program

“මඩ පැල්ලමට යට නොවූ තරුණයා”

May 27, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

“මඩ පැල්ලමට යට නොවූ තරුණයා”

එක්තරා තරුණයෙක් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට පිටත් වුණා. එදා හොඳටම වැස්ස දවසක්. තරුණයා බස් නැවැතුම්පොල වෙත ගමන් කරමින් සිටියා. නමුත් වේගයෙන් පැමිණි මෝටර් රථයක් නිසා පාරේ තිබුණු මඩ වතුර ඔහුගේ ශරීරය පුරා විසිරී ගියා. එයින් ඔහුගේ සුදු කමිසය මඩ පැහැයට හැරුණා. නමුත් තරුණයා ඒ අපිරිසිදු ඇඳුමින් ම සම්මුඛ පරීක්ෂණය සඳහා පිටත් වුණා. පැමිණි සියල්ලෝම තමන්ට පැමිණෙන අවස්ථාව ගැන සිතමින් වාඩි වී සිටියා. සියලන්ගේම දෑස් පෙර කී තරුණයා වෙත යොමු වුණා.

“එයා පව්. එයාට ඇඳුම් නැතිව ඇති” කෙනෙක් කිවුවා.

“පිස්සෙක්ද කොහෙද” තවත් කෙනෙක් කිවුවා.

“එයාටනම් මේ ඉන්ටර්විව් එක පාස් වෙන්න ලැබෙන්නෙ නෑ” තවත් කෙනෙක් කිවුවා.

තවත් අය ඔහු දෙස බැලුවේ සමච්චලයට මෙන් සිනහ වෙමින්.

“ඔයා කොහෙද වැඩ මල්ලී? ඔයා ඇවිල්ල තියෙන්නෙ වැරැදි තැනකට” තවත් කෙනෙක් කිවුවා.

“නෑ මම ආවෙ ඉන්ටර්විව් එකට” ඔහු ඔහුගේ මනස ශක්තිමත් කරගෙන කිවුවා.

විවිධාකාර ප්‍රතිචාර මැද ඔහුගේ සිත අසරණ වුවත් ඔහු සිත තුළ දැඩි ශක්තියක් ඇති කර ගත්තා.

සම්මුඛ පරීක්ෂණය පටන් ගත්තා. එකිනෙකා කැඳෙව්වා. පෙර කී තරුණයාගේ වාරය ආවා. ඔහු අදාළ ආසනයේ වාඩි වුණා. නිලධාරීන් මුහුණින් මුහුණ බලාගත්තේ මඩ පැල්ලමක් සහිත ඇඳුමක් ඇඳගෙන ආපු මේ තරුණයා දැකීම නිසා.

“මොකද ඇඳුමේ මඩ…..?” නිලධාරියෙක් ඇහුවා.

එවිට ඔහු සංසුන්ව උත්තර දුන්නා. ඔහු මුහුණ දුන් සිදුවීම විස්තර කළා.

එවිට නිලධාරියා: “ඉතින් ඔය දරුවට තිබුණනේ හොඳ ඇඳුමක් ඇඳගෙන එන්න”

එවිට තරුණයා: “සර් මට එහෙම එන්න තිබුණා. නමුත් මම ප්‍රමාද වුණොත් මට මේ ඉන්ටර්විව් එක මඟහැරෙනවා. මම ප්‍රමාද වෙලා මෙතනට ආවොත් මම ලස්සනට පෙනේවි. නමුත් ඉන්ටර්විව් එක අවසන් වෙලා තියේවි. එතකොට ඒ ලස්සන කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක් බවට පත් වෙනවා. මඩ පැල්ලමක් නිසා මගේ ගමන ප්‍රමාද කරන්න මට අවශ්‍ය වුණේ නැහැ. ඉතින් ඔබ තුමා මාව ඉන්ටර්විවි කරන්න සූදානම් නම් මට මේ මඩ පැල්ලම කිසිම ප්‍රශ්නයක් නැහැ”

ඔහු එසේ කිවුවේ දැඩි ආත්ම විශ්වාසයකින්.

එවිට නිලධාරියා: “ඔබ හිතනවාද ඔබට මේ ඉන්ටර්විව් එක පාස් වෙන්න පුලුවන් කියලා?

තරුණයා: “ඔව් මට ඒක විශ්වාසයි”

සම්මුඛ පරීක්ෂණය පැවැත්වුණා. නිලධාරියා ඇසූ සියළුම  ප්‍රශ්නවලට තරුණයා නියමාකාරයෙන් උත්තර දුන්නා…..

නමුත් අවසානයේ නිලධාරියා මෙසේ කිවුවා…”අපිට කණගාටුයි ඔබ ගැන. අපි විශ්වාස කරනවා අපේ ආයතනය තුළ ඉන්න ඕන හොඳ පෞරුෂයක් වගේම බාහිර පෙනුමෙනුත් වැදැගත් තැනක ඉන්න අය…..ඔබ ඔබේ ඇඳුම ගැන හිතන්න තිබුණා. නමුත් ඔබ ඒ ගැන හිතුවේ  නැහැ. ඒ නිසා අපිට බැහැ ඔබට අවස්ථාවක් දෙන්න”

එවිට තරුණයා මඳ සිනහවකින් යුතුව, “ඔබතුමාගේ තීරණයට මම ගරු කරනවා. ඒ වගේම මේ ආයතනය සාර්ථකව පවත්වාගෙන යන්න ඔබ හැම දෙනාටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තූතියි සර්” කියා නිලධාරියාට ඉතා සුහදශීලීව අතට අත දී පිටව ගියා.

දින කිහිපයක් ගත වෙද්දී හදිසියේම ඔහුට දුරකථන ඇමතුමක් ආවා.

ඒ පෙර කී ආයතනයෙන්.

“ආයුබෝවන් මහත්මයා, ඉතා ඉක්මනින් අපගේ ආයතනයට පැමිණෙන්න. ඔබට අපගේ ආයතනයේ රැකියාව සූදානම්”

තරුණයා නැවතත් එම ආයතනයට ගියා. දෙවන වර පැවැති සම්මුඛ පරීක්ෂණයෙන් ඔහු ඉහළින් සමත් වුණා. ඔහුට පත්වීම ලැබුණා.

“මඩ පැල්ලමකට බැරි වුණා ඔබේ ගමන නවත්වන්න. අපේ ආයතනයට ඕන ඔබ වගේ ආත්ම විශ්වාසය උපරිමයෙන් තියෙන ජවසම්පන්න තරුණයින්”

නිලධාරී මණ්ඩලය ඔහු අගය කළා. ඔහු වඩාත් දක්ෂ ලෙස ඔහුගේ රැකියාව කළා. අවසානයේ ඔහු එම ආයතනයේ ඉහළ කළමණාකාර ධූරය දක්වා උසස් වීම් ලැබුවා.

ඔයාගේ ජීවිතයෙත් ඇති අතීතයේ ගෑවුණු මඩ පැල්ලම්. සමහර ඒවා ඔයා විසින්ම කරපු වැරැදි වල මතකයන්. සමහර ඒවා අනුන් විසින් ගොතපු කතා. තවත් ඒවා විවිධ කඩා වැටීම්. ආදරය අහිමි වීම. විවාහය අසාර්ථක වීම. ව්‍යාපාර බිඳ වැටීම. විභාග අසමත් වීම. අභූත චෝදනා. අවලාද ආදී විවිධාකාර මඩ පැල්ලම්.

මේ ලෝකයේ හැම කෙනෙක්ම ලෝකයට වටිනවා. නමුත් ඒ වටිනාකම වැඩි වෙන්න නම් කෙනෙක් නැගී සිටින්නම ඕන.

ඒකට කියන්නේ ආත්ම විශ්වාසයෙන් නැගී සිටීම කියලා.

අපි හැමෝටම අවශ්‍යයි වරදින් නැගී සිටීමේ වීර්‍යය. අපි හැමෝටම අවශ්‍යයි අන් අයගේ බලපෑම් හමුවේ නොසැලී සිටීමේ ශක්තිය. අපි හැමෝටම අවශ්‍යයි කඩාවැටීම් හමුවේ නැවත නැවතත් නැගී සිටීමේ ශක්තිය. විවිධ  අසාධාරණකම්, අභූත චෝදනා අනන්ත හැලහැප්පීම් මැද නැගී සිටීමට ආත්ම විශ්වාසය අපි හැමෝටම අවශ්‍යයි.

එවැනි මිනිස්සු ජීවිතය ජයගන්නවා.

ජීවිතයේ විවිධාකාර මඩ පැල්ලම් ගැන හිතමින් තවමත් ලතැවිල්ලේ සිටිනවා වෙනුවට ආත්ම විශ්වාසයෙන් නැගී සිටිමු.

ඒ සඳහා ඉහත කතාව ආදර්ශයට ගන්න.

අපි හැමෝටම ජීවිතය දිනන්න පුලුවන්.

මඩ පැල්ලම්, මඩ ගැසීම් වලට මම නතරවුණානම්, වැටුණු අවස්ථාවල වැටිලම හිටියනම් අද ජාත්‍යන්තර සම්මාන දිනූ මගේ සමාජසත්කාර පදනමවත් CharityShop වත් නිර්මාණය වෙන්නේ නෑ.

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මැයි26 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021මැයි27