CharityShop Sales Team Training Program

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

Jun 1, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

ඉතාම ධනවත් ව්‍යාපාරිකයෙක් මිය යන්න ඔන්න මෙන්න වගේ හිටියා…

මැරෙන්න ළං වෙනකොට තමයි ගොඩක් දෙනෙක්ට තවත් වැඩ ගොඩක් හරි හරියට කරන්න හිතෙන්නේ……

ඔහු ද නොයෙක් ප‍්‍රතිකාර ගනිමින් මරණය ජයගන්න උත්සහා ගත්තා… මැරෙන්න කලින් කරන්න තව වැඩ ගොඩක් තියෙනවා. ජීවිතය ජයගන්න ලොකු සටනක් කරපු ව්‍යාපාරිකයා අවසානයට ඔහේ ලෙඩ ඇද  මත වැතිරිලා කල්පනා කළා…….

මෙහෙම ඉන්න කොට කිසියම් දෙවි කෙනෙක් ඔහු ඉදිරියේ පෙනිී සිටියා…

දෙවියන් ඔහු ඉදිරියට ආවේ ඔහු ඉතාම ප‍්‍රිය කරන ලොකුම ලොකු සූට් කේස් එකක් අරගෙනයි. මරණය අභියස බියෙන් තැති ගෙන ඉන්න ව්‍යාපාරිකයා සුට් කේස් එකක් අරගෙන ආව දෙවියන් දැකලා පුදුමයට පත්වුණා…

“පුතා යන්න වෙලාව හරි…” දෙවියෝ සිනාසෙමින් කිව්වා.

“දැන්ම යන්න බැහැ.. මගේ සැලසුම් තව ගොඩක් ඉතිරිවෙලා තියෙනවා.. බැංකුවලට ණය ගෙවන්නත් තියෙනවා.. කරුණාකරලා මට ටික කාලයක් දෙන්න..” ව්‍යාපාරිකයා දෙවියන්ගෙන් කාරුණිකව ඉල්ලූවා.

“බැහැ.. බැහැ… යන්න වෙලාව හරි.. ටික කාලයක් දුන්න කවුරුත් මේ ලෝකයේ නෑ.. හැමෝගෙම වෙලාව ආවම මම එක්කගෙන ගියා..” දෙවියෝ තරමක් තදින් කිව්වා.

“මොනවාද ඔය ලොකු සූට් කේස් එකේ තියෙන්නේ..?” ව්‍යාපාරිකයා කුතුහලයෙන් ඇහුවා…

“ඔයාට අයිති දේවල්…!” දෙවියෝ මඳ සිනාවක් පාන ගමන් කිව්වා.

“ආහ්… මගේ ඇදුම් පැළදුම් වෙන්න ඇති…” ව්‍යාපාරිකයා අනුමාන කරලා කිව්වා.

“නැහැ.. ඒවා ඔයාට අයිති නැහැ දරුවා.. ඒවා අයිති මහ පෙළොවට..”

“එහෙනම් මගේ මතකයන් වෙන්න ඇති…” ව්‍යාපාරිකයා කිව්වා.

“නැහැ.. ඒවා අයිති කාලයට මිසක් ඔයාට නෙවෙයි..” දෙවියෝ එහෙම කිව්වා.

“එහෙනම් මගේ පවුලේ අය ද..?”

“නැහැ.. පවුලේ අය අයිති ඔයාගේ හදවතට මිසක් ඔයාට නෙවෙයි..” දෙවියෝ කිව්වා….

“මම මැරුණට පස්සේ මගේ ශරීරය දාන්න ද ඕක ගෙනාවේ..?” ඔහු තවත් කුතුහලයෙන් ඇහුවා.

“කොහෙත්ම නැහැ.. මැරුණට පස්සේ ඔයාගේ ශරීරය අයිති කුණු රොඩුවලට මිසක් ඔයාට නෙවෙයි පුතා…” දෙවියන් ඉතාම කාරුණිකව කිව්වා….

“මගේ ආත්මයවත් මට අයිති නැද්ද..?” ව්‍යාපාරිකයා බැරිම තැන තරහින් වගේ ඇහුවා.

“නැහැ.. ඒක අයිති මට.. ඒ කියන්නේ මේ විශ්වයට..” දෙවියෝ කිව්වා.

“එතකොට මේ ලෝකයේ මට අයිති මොනවද..?”

“ඔයාට අයිති මේ මොහොත විතරයි..!” දෙවියෝ ඉතාම ඝෘජුව සහ විශ්වාසයෙන් කිව්වා…….

ව්‍යාපාරිකයා ඒ ගැන ටිකක් කල්පනා කළා. තමන් ගේ ධනය, ආදරණීය පවුල, ශරීරය සහ මතකයන් යන මේ කිසිම දෙයක් අයිති නැහැ කියන්න තරම් දෙවියන්ට තියෙන අයිතිය මොකද්ද? ඔහු උන්නත් එකයි මලත් එකයි කියලා දෙවියන්ගෙන් ප‍්‍රශ්න කරන්න තීරණය කළා.

“මට ඒක පැහැදිලි කරන්න පුළුවන් ද..?” ඔහු දෙවියන්ගෙන් ඇහුවා.

“මිනිස්සු බොහෝ දෙනෙක් ජීවිත කාලය පුරාම ඔවුන්ට අයිති මොහොත වෙන අය අයිති කරගන්න හෝ වෙන වෙන වත්කම් අයිතිකර ගැනීම වෙනුවෙන් වැය කරනවා.. නමුත් ඒ කිසිම දෙයක් ඔවුන්ට අයිති නැති බව ඒ අයට වැටහෙන්නේ නැහැ..”

“හොඳට මතක තියාගන්න.. ඔයාට අයිති මේ මොහොත මටවත් අයිති නැහැ.. නමුත් මේ ලෝකයේ බොහෝ මිනිස්සු තමන්ට අයිති මොහොත අයිති කරගන්නේ නැතුව වෙන වෙන දේවල් අයිති කරගන්න ගිහින් ජීවිතය කාලකණ්නි කරගන්නවා…” දෙවියන් මරණය ඉදිරියේ පෙනී හිටිය මිනිස්සු කෝටි ගණනක් තමන්ට අයිති මොහොත අහිමි කරගෙන දුක් විදින ආකාරය ගැන මරණය අසල බියෙන් ඉන්න ව්‍යාපාරිකයාට පැහැදිලි කළා.

ඇත්තටම මේ මොහොත අයිති කරගැනීම ගැන තමයි බොහෝ ආධ්‍යාත්මික නායකයන් වගේම දාර්ශණික ලේඛකයන් ද කතා කරන්නේ. මේ මොහොතේ ජීවත්වීමේ හරය ගැන වඩාත් ගැඹුරින් දේශනා කළේ ගෞතම බුදුරජාණන් වහන්සේ බව කියන්න පුළුවන්. එක්කාර්ට් ටෝල් නම් ජනප‍්‍රිය බටහිර ලේඛකයා %The Power of Now “නමින් මේ මොහොතේ ජීවත්වීමේ රහස ගැන විශිෂ්ට මනෝවිද්‍යාත්මක පොතක් පවා ලිව්වා. එය ලොව වැඩියෙන්ම විකිණෙන ආධ්‍යාත්මික කෘතියක් බවට අදටත් ජනප‍්‍රියයි.

සැබැවින්ම මේ මොහොතේ ජීවත්වීම පුහුණු කළ යුතු ජීවන කලාවක් මිසක් නිදිවරා කියවීමෙන් අවබෝධකර ගන්න පුළුවන් දැනුමක් නෙවෙයි. මේ මොහොතට සමීප වෙන්න භාවනාව හොඳම අභ්‍යාසයක්. ඒ ගැනත් නිදහසේ ටිකක් හිතන්න. ජීවිතය පුරාම වැඩ කරලා, වැඩ කරලා මැරෙන්න මොහොතකට කලින් සමහර වෙලාවට හිතෙයි “මම ජීවත් වෙද්දි ඇත්තටම අයිති කරගත්තේ මොනවාද..?” කියලා. ඇත්තටම අපිට මේ ලෝකේ කිසිම දෙයක් අයිති නැහැ. අපිට අපිවත් අයිති නැහැ. ඔබට මට මේ ලෝකයේ ඇත්තටම අයිති මේ මොහොත පමණයි. එය ඇත්තටම පිළිගන්න අමාරු ප‍්‍රායෝගික සත්‍යයක්.

ප‍්‍රායෝගික ජිවිතයේ දී පැය 24 ම අයිති කරගන්න උත්සහා ගන්න එපා. අඩුම තරමේ දවසේ විනාඩි පහක්වත් ඔයාටම හිමි කරන්න පුංචි උත්සහායක් ගන්න. අතීතයේ මතකයන් සමඟත්, අනාගත සිහින සමඟවත් අරගල කරනවා වෙනුවට මේ මොහොතේ ජීවත් වෙන්න. එතකොට ඔබගේ කාල තුනම අනිවාර්යයෙන් සුබ වෙනවා නියතයි.

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මැයි31 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021ජූනි1 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)