CharityShop Sales Team Training Program

නිෂ්පාදනයක් මත පදනම්වූ පිරමීඩ යෝජනා ක්‍රමය (Product-based Pyramid Scheme)

Aug 21, 2021 | Scam Alert | 0 comments

මේ ක්‍රමයෙදි අධික මිලක් නියම වුණ භාණ්ඩයක් මිලදී ගන්න ඕනි. ඒක එක්කෝ සූර්යකෝෂ කට්ටලයක් (සෝලා පැනල් එකක්), එහෙමත් නැත්නම් වතුර ෆිල්ටර් එකක්, ඔරලෝසුවක්……..වගේ දෙයක් වෙන්න පුලුවන්.

මේක ගත්තම තමයි ඔබට ඔබ යටතේ තවත් අය බඳවාගන්නත්, බඩු විකුණන්නත් අයිතිය ලැබෙන්නෙ. මේවා බහු ස්ථර (multi-level) හෝ ජාල අලෙවිකරණ (network marketing) විදයට තමයි මොවුන් හඳුන්වාදෙන්නෙ. ඇත්තටම මේ භාණ්ඩය නිකං නමට තියෙන එකක් විතරයි. ඒක අර නිකංම සල්ලි ගෙවලා පිරමිඩ් එකකට ඇතුළ් වෙන බව නොදැනෙන්න කරන බොරුවක්.

මේක Direct sales හෝ Network marketing නෙවෙයි. මොකද මේවයෙ කොතැනවත් ඇත්තම පාරිභෝගිකයො නැහැ. ඉන්නෙ අලෙවිකරුවො විතරයි. අලෙවි කරුවෙක් භාණ්ඩය අරගෙන තවත් අලෙවිකරුවන් පිරිසකට භාණ්ඩ විකුණන්න අයිතිය ලබාගන්න එකයි කෙරෙන්නෙ. ඒ විදියට සාමාජිකයින් බඳවාගැනීමේ අයිතිය ලබාගත්තට පස්සෙ ඔබ තවත් දන්නා හඳුනන අය ඔබ යටතේ පිරමීඩ යෝජනා ක්‍රමය තුළට ගෙන ආ යුතුයි. ඔබට ප්‍රතිලාභ හිමිවන්නේ ඔබ යටතේ ගොඩනැගෙන ජාලයේ ප්‍රමාණය මතයි. නමුත් Multi-level හෝ Network Marketing වලදී භාණ්ඩ විකුණන්නේ ඒවා සැබැවින්ම අවශ්‍ය පාරිභෝගිකයින්ට මිස සාමාජිකයින් බඳවාගැනීමේ අරමුණින් නෙවෙයි.

ඒ කියන්නෙ මොන නමින් ආවත්, කොච්චර නෑ කිව්වත් මේක පිරමිඩ්ම තමයි.

මේ මහබැංකුව මේ සඳහා ලබාදෙන උදාහරණයයි.

  1. පිරමීඩ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන සමාගම රු. 50, 000+ වගේ අධි මිලකට භාණ්ඩයක් විකුණනවා. මේවා මිලදීගන්න අය තවත් ගැනුම්කරුවන් බඳවාගෙන කොමිස් මුදලක් ලබන්න සුදුසුකම් ලබාගන්නවා.
  2. කොහොම වුණත් රුපියල් 10,000ක කොමිස් මුදලක් ලැබෙන්නෙ ඔබට පහළින් 10 දෙනෙක් එකතු වෙන අවස්ථාවක බව මොවුන් කියනවා කියලා හිතමුකො. පස්සෙ ඒ විදියට එකතු වෙන අයටත් රුපියල් 10,000 කොමිස් මුදල ගන්න 10 දෙනා ගණනේ බඳවාගන්න වෙනවා. මේ විදියට පහළින් සාමාජිකයො 10ක් බඳවාගන්න හැම අවස්ථාවකදිම ඉහළින්ම ඉන්න – පහළින් 10දෙනෙකු සිටීමේ සුදුසුකම සපුරන – අයට කොමිස් මුදල ලැබෙනවා.
  3. උදාහරණයේ තියෙන විදියට හැම මට්ටමකදිම පිරිස දෙගුණ වෙමින් යනවා කියලා හිතුවොත්, ඔතන ඉන්න 63 දෙනාට රුපියල් 50,000/- ගණනේ භාණ්ඩය විකුණලා සමාගම රුපියල් 3,150,000ක ආදායමක් ලබාගන්නවා.
  4. මේ රූපසටහනේ ඉන්න හැම පුද්ගලයින් 10ක් බඳවාගන්නකොටම, ආරම්භක ප්‍රවර්ධකයාට 7 සැරයකුත්, පළමු මට්ටමේ දෙදෙනාට 3වතාව බැගින් 6 සැරයකුත්, දෙවැනි මට්ටමේ හතරදෙනාට 1 වතාව බැගින් 4 සැරයකුත් (17 වතාවක්) කොමිස් ගෙවා තිබෙනවා. ඒ කියන්නෙ 17 දෙනාට 10,000 බැගින් රුපියල් 170,000ක් විතරයි. ඉතිරි මුලු මුදලට සමාගමටයි අයිති වෙන්නෙ.
  5. ප්‍රතිශත විදියට ගත්තොත් මුළු විකුණුම් වලින් 5.4%ක මුදලක් මුලු සාමාජික සංඛ්‍යාවෙන් 11%ක පිරිසක් අතරේ පමණක් බෙදී ගිහින් තියෙනවා. තේරෙනවද ඔතන සහභාගි වෙලා ඉන්න පිරිසෙන් කොච්චර සුළු ප්‍රමාණයකටද කොමිස් ලැබෙන්නෙ කියලා. පහළ ඉන්න අයට ලැබෙන්නෙම නැහැ.
  6. අන්තිමට කොහොමත් මේක බිඳවැටෙන නිසා ඉතිරිවෙන්නෙ අර කිසි වැඩකට නැතිව අධි මිලක් ගෙවලා ගත්ත භාණ්ඩය විතරයි. ඒක තියාගෙන මොනව කරන්නද?!

මේ පිරමීඩ ක්‍රම තුළට සෙනග අද්දවාගන්න ක්‍රම හැටියට මේ ලිපිය පටන්ගන්නකොට කීව ක්‍රම දෙක වඩාත් සුලභව අහන්න දකින්න ලැබෙනවා.

ඔබ ඔවුන්ගේ යෝජනාවට එකඟවුණොත්, ඊළඟට ඔබට සම්මන්ත්‍රණ මාලාවකට සහභාගි වෙන්න ලැබෙනවා. බොහෝවිට ඔබව සම්බන්ධ කරගත්ත පුද්ගලයා අතින් වියදම් කරලා වාහනයක ඔබව සම්මන්ත්‍රණයට එක්කගෙන යන්නත් ඉදිරිපත් වේවි. මේ සම්මත්‍රණ වලදී එම පිරමීඩ ක්‍රමයෙන් ජීවිතය ජයගත් අය ඇවිත් හරි හරියට කතා කරාවි. මිලදීගත් යාන වාහන, ගේ දොර ඉඩකඩම් පෙන්වාවි. අනුන්ගේ දුක මුදල් බවට පත්කරගන්නා ආකාරය කියාදීලා ඔලුගෙඩි සෝදා/බ්‍රේන් වොෂ් කරලා එළියට එවාවි. ඊටපස්සෙ ඉතින් අම්මා මුත්තා කිව්වත් මේකෙ බරපතළකම නම් පේන්නෙ නැහැ. මේකට ගොදුරු වුණ අයට මේගැන කොච්චර තේරුම් කරලා කිව්වත් නොතේරෙන්නෙ ඒ නිසයි.

ශ්‍රී ලංකා මහබැංකුව මේගැන විස්තර කරන්නෙ මෙහෙමයි.

දැනුම අඩු සහ මූල්‍ය දුෂ්කරතාවයෙන් පෙළෙන පුද්ගලයන් ඉලක්ක කරමින්, මුදල්වලට ඔවුන්ගේ ඇති අධික තණ්හාව හා පහසුවෙන් රවටා පොළඹවා ගත හැකිබව දඩමීමා කරගනිමින් පිරමිඩ ක්‍රම ජනප්‍රිය කරවීමට සංවිධායකවරු ක්‍රියා කරති. වැඩි වෙහෙසකින් තොරව ඉක්මනින් ධනවත් වීමට හැකිය යන විශ්වාසය ඇති කර වංචනිකව ඔවුන් රවටනු ලබයි.

සාමාජිකයන් කුඩා සංඛ්‍යාවක් යෝජනා ක්‍රමය තුළට බඳවාගැනීම හැරුනු කොට වෙනත් කිසිවක් සිදුනොකොට විශාල මුදල් ප‍්‍රමාණයක් උපයා ගත හැකි බව කියමින් සහභාගිවන්නන් පොළඹවා ගනු ලබයි.

ඇතැම් අවස්ථාවල සහභාගිවන්නන් මුදල් සොයාගන්නා තෙක් ඔවුන් වෙනුවෙන් ප්‍රවර්ධකයෝම මුදලින් දායක වෙති. තම යෝජනා ක‍්‍රමයට සම්භාවනීය, කීර්තිමත් පිළිගැනීමක් ඇතිබව මහජනයාට ඒත්තුගන්වනුවස් ප‍්‍රවර්ධකයෝ ලෝ පතළ පුද්ගලයන් සහ සංවිධානවල නම් යොදාගනිති. යෝජනා ක්‍රමය වෙත ජනතාව ඇදගැනීම සඳහා ප්‍රවර්ධකයෝ/සහභාගි වන්නෝ අභිප්‍රේරණ සමුළු පවත්වති. ඇතැම් විට යෝජනා ක‍්‍රමය තුළින් ඇතැමුන් තනාගත් යස ඉසුරු පෙන්වීමට සුඛෝපභෝගී යාන වාහන සහ / හෝ සුවිසල් මන්දිර සමග ගත් ඔවුන්ගේ ඡායාරූප සම්මන්ත‍්‍රණ වලදී ප‍්‍රදර්ශනය කරමින් ඉක්මනින් ධනවත්වීමට ආශා කරන පුද්ගලයින් මේ යෝජනා ක‍්‍රම තුළට අද්දවා ගැනීමට කටයතු කරති.

පිරමීඩ යෝජනා ක්‍රම බිඳවැටෙන්න හේතුවක් තමයි කවදාහෝ මේ බඳවාගන්න පිරිස අවසන් වීම. ඒ කියන්නෙ, මුලින්ම සම්බන්ධ වෙන කෙනා කොමිස් මුදල ගන්න තව 10 දෙනෙක් හොයාගෙන එනවා. ඒ දහ දෙනා දහය බැගින් තව 100 දෙනෙක් හොයාගෙන එනවා. ඒ සිය දෙනා කොමිස් මුදල ගන්න 10 බැගින් තව 1,000ක් දෙනා…….ඔය විදියට හොයාගෙන හොයාගෙන ගිහින් කවදාහරි මේක නවතිනවා. එතකොට අන්තිම මට්ටම් වල ඉන්න අයට හුළං තමයි. ඇයි ඉතින් ජනගහනය මිලියන 20ක් වෙන රටක ඔහොම කොහෙන් මිනිස්සු බඳවාගන්නද? කවදාහරි ඉවර වෙනවා. ඒ ඉවර වෙන්නෙ පහළ මට්ටමේ සිය දහස් ගණනක් සෙනග අතරමං කරමින්. 10 ගුණය බැගින් වර්ධනය වෙන වේගය අනුව මේ අතරමං වෙන සහ ගෙවූ මුදලවත් උපයාගන්න බැරිව පාඩු ලබන සෙනග ප්‍රමාණය සහභාගිවෙන මුලු පිරිසෙන් 90%ක් 99%ක් වෙනවා..

එක් කෙනෙක්ගෙන් උදුරාගන්න මුදල් තවත් කෙනෙකුට දෙන එක මිස අලුතින් ආදායම් උත්පාදනයක් මේවයෙ සිදු වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ කෙනෙක් අහිමි කරගන්න මුදලින් කොටසක් තමයි තවත් කෙනෙකුට ලැබෙන්නෙ. අලුතින් සාමාජිකයො එන එක නැවතුණ දවසක මුදලුත් නැතිවෙනවා. අලුතෙන් බඳවාගන්නකොට ගෙවන මුදල විතරයිනෙ තියෙන එකම ලැබීම. ඉතින් අලුත් අය අඩුවෙනකොට, නැති වෙනකොට කොහෙන්ද සල්ලි?

එක හේතුවක් තමයි වරද්දාගත්තු මිනිස්සු ලැජ්ජාවට සද්ද නැතිව ඉන්න එක. වැඩි තණ්හාවට ගිහින් තිබුණ සල්ලිත් නැතිකරගත්තා කියලා කාටහරි කියන්න පුලුවන්ද ලැජ්ජා නැතුව. ඉතින් මේ අය සද්දනැතිව තමන්ටම බැනගෙන පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා මිනිස්සු දැනුවත්වීම අඩු නිසා සමාගම දිගටම කෙරීගෙන යනවා.

අනිත් එක තමයි 10දෙනෙක් හොයාගන්න බැරිව හෝ වෙනත් හේතුවක් නිසා පාඩු ලබන කෙනෙක් ඉවත්ව යනකොට ඒ ඉඩ අලුත් කෙනෙක්ගෙන් පිරෙන එක.

ඒ වගේම මේ සමාගම් රජයේ නිලධාරීන්ට සහ දේශපාලකයින්ට මදි නොකියන්න හොඳට සලකනවා. ඉතින් මේවාට වැට බැඳෙන්න තියෙන ඉඩකඩ අඩු වෙලා යනවා.

පිරමීඩ සමාගම් එහි සාමාජිකයින්ට ලැබෙන සාමාන්‍ය ප්‍රතිලාභ ගැන හෙළි කරන්නෙ නැහැ. ඒ වෙනුවට කරන්නෙ ඉහළම ඉන්න හොඳින් මුදල් උපයන කීපදෙනෙක් විතරක් අල්ලගෙන ඒ අයව ඉස්මතු කරලා පෙන්වන අය. ඔය සම්මන්ත්‍රණ වලට එහෙම ඇවිත් කතා කරන්නෙ ඔය සුලු පිරිසෙන් කීපදෙනෙක් තමයි. ඒ නිසා ඒ අය දකින අලුත් සාමාජිකයො හිතන්නෙ සම්බන්ධවෙන හැමෝටම වසර කීපයකින් අර පිරිස ඉන්න ආර්ථික මට්ටමට යන්න පුලුවන් කියලයි. ඒ අයට තේරෙන්නෙ නැහැ තමන් ඉන්නෙ ගොඩ ඒමක් නැති පිරමීඩයෙ පතුළෙ බව. ඉතින් අලුතින් කට්ටිය එනවා. සමාගම කෙරීගෙන යනවා.

පිරමීඩ යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරන අය මේකෙ අගක් මුලක් හොයාගන්න බැරි වෙන විදියට නීති රීති, ක්‍රමවේද පටළවනවා. ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට සල්ලිම මිසක් සිද්ධ වෙන්නෙ මොකක්ද කියල පේන්නෙ නැහැ.

  1. කලින් කිව්වා වගේ කවදාහෝ මේ පිරමීඩ යෝජනාක්‍රමය බිඳ වැටෙනකොට සහභාගීවෙන අයගෙන් 90% – 99% ප්‍රමාණයකට මූල්‍යමය වශයෙන් පාඩු සිද්ධ වෙනවා.
  2. බොහෝවිට කෙනෙක් මේ සඳහා තමන් යටතේ බඳවාගන්නෙ තමන්ගෙම යාලුවෙක්, නෑයෙක් නිසා මේ විදියට ඒ කියූ ආකාරයේ ප්‍රතිලාභයක් නැති වෙද්දී ඒ සම්බන්ධතා පළුදු වෙලා යන්න පුලුවන්. මොකද ඔබ බොරුකාරයෙක්, වංචා කාරයෙක් බව ඒ අයට හිතෙන නිසා. දික්කසාද, දිවිනසාගැනීම් වලටත් මේ ජාවාරම හේතු වෙන්න පුලුවන්.
  3. ගොඩක් වෙලාවට මේවට අහුවෙන්නෙ දැනටමත් ආර්ථික මට්ටම පහළ වැටුණු අය. ඒ අය මේවාට මුදල් හොයාගන්නෙ කණකර උකස් කරලා. එහෙම නැත්නම් ණය අරගෙන. ඉතින් පිරමීඩ බිඳවැටීමකදි ඒ සියල්ලත් අහිමි වීමෙන් කබලෙන් ලිපට වැටීමක් තමයි සිද්ධ වෙන්නෙ.

උපුටාගැනීමකි.

CharityShop Team

#2021අගෝස්තු21